පොම්පෙයි නගරය ( Pompeii )

පොම්පෙයි නගරය වර්තමානයේ ඉතාලියේ නේපල්ස් නගරයට ආසන්නයෙන් පිහිටි පුරාණ රෝම අධිරාජ්‍යට අයත් නගරයකි. ක්‍රි.ව 79 දී පමණ ඒ ආසන්නයේ පිහිටා තිබූ විසූවියස් ගිණිකන්ද පුපුරායාම නිසා නගරය මුලුමනින්ම විනාශ වූ අතර පිටවූ අළු නිසා මීටර 4-6 (අඩි 13-20) පමණ ගැඹුරට වැලලී ගියේය.

මෙම නගරය ක්‍රි.පූ 7 වන සියවසේ දී පමණ ඔස්කන් නැමති ජන කොට්ඨාශයෙන් ජනාවාස වීම ඇරඹුනා යැයි සැලකේ. එහි තිබූ වරාය වෙළඳාම සඳහා ප්‍රසිද්ධව තිබූ අතර පෙර කාලවලදී ගිනිකන්ද පුපුරා ගැලූ ලාවා නිසා එහි පස සාරවත් වු බැවින් මිදි හා ඔලිව් වගාව සාරවත්ව සිදු කෙරිනි.

ක්‍රි.පූ 5 වන සියවසේ දී පමණ පොම්පේ නගරය සම්නයිට්ස්වරුන් (Samnites) යටත් කරගත් අතර පසුව රෝමවරුන් යටතට පත්විය. ක්‍රි.පූ 80 දී පමණ මෙය නිල වශයෙන් රෝම අධිරාජ්‍යට අයත් කොලොනියක් බවට පත් විය.



එකල පොම්පෙයි නගරය රෝමවරුන්ගේ ජනප්‍රිය නිවාඩු කලාපයක් විය. බොහෝ ධනවත් රෝමවරුන් ඔවුන්ගේ ග්‍රීෂ්ම සෘතුව ගත කිරීම සදහා මෙහි නිවාස තනවා ගෙන තිබුන අතර ඔවුන් එම කාලය මෙහි ගත කිරීම සිදු විය. 10000 - 20000 ත් අතර ජනගහනයක් මෙකල නගරය තුල ජීවත් වන්නට ඇතය සැලකේ.

පොම්පෙයි නගරයද එවකට සාම්ප්‍රදායික රෝම නගරයක ආකෘතිය ගත්තේය. නගරයේ එක් පසක ෆෝරම් (forum) ලෙස හැදින්වූ කලාපය වූ අතර සියලුම වෙළඳ කටයුතු සිදුකෙරුන  කඩ සල්පිල්, බැංකු ආදියෙන් සමන්විත ජනාකීරණ ප්‍රදේශයක් විය.
ඒ ආසන්නයට වන්නට පුරාණ රෝම දෙවියන් වූ වීනස්, ජුපිටර් සහ ඇපලෝ වෙනුවෙන් ඉදිකෙරුණු දෙවොල් තිබී ඇත. නගරය තුලට ජලය ගෙන ඒමට ජලමාර්ග පද්ධති සකසා තිබුනි. එමගින් පොදු ජනතාවගේ ස්නානය ආදී අවශ්‍යතාවයනට  ජලය සැපයුනි.


නගර වැසියන් විනෝදකාමී ජීවිත ගත කල පිරිසක් ලෙස සැලකේ. නගරය තුල 20000 කට පමණ අසුන්ගත හැකි, ග්ලැඩියේටර්වරුන්ගේ පවා සටන් පැවති විශාල රංග පීථයක් ඉදිකර තිබුනි. ඊට අමතරව විවිධ නාට්‍ය, සංගීත සංදර්ශන මෙන්ම ආගමික උත්සව පැවැත්වීමට රංග ශාලා බොහොමයක් ඉදිකර තිබූ බව පැවසේ.

පොම්පෙයි නගරය අවට ප්‍රදේශය නිරන්තර භුමිකම්පා වලට ලක්විය. එබැවින් එය ඔවුනට සාමාන්‍ය සිදුවීමක් වී තිබී ඇත. කෙසේ නමුදු ක්‍රි.ව 62 දී පමණ ඇති වූ අති දැවැන්ත භුමිකම්පාවෙන් නගරයට මහත් විනාශයක් සිදුවිය. ගොඩනැගිලි සියල්ලම පාහේ හානියට පත් විය.ඊට වසර 17 කට පසු එනම්  ක්‍රි.ව 79 දී මහා පිපිරීම සිදුවන කාලය වන විටද මෙමගින් විනාශ වූ ගොඩනැගිලි  ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේමින් පැවති බව සඳහන් වේ.

ඒ වන විට විසූවියස් ගිණිකන්ද වසර 1800ක පමණ කාලයක් නිශ්ක්‍රීයව තිබී ඇත.මෙනිසා පොම්පෙයි වැසියන් එය ගිණිකන්දක් බව නොදැන සිටි බව සඳහන් වේ. ක්‍රි.ව 79 අගෝස්තු 24 දින ගිණිකන්ද පිපිරීම ආරම්භවී දුමාරය යන විට ද නගර වැසියන් වෙන්නේ කුමක් දැයි නොදැන එදෙස පුදුමයෙන් බලා සිටි බව සඳහන් වේ. අවසානයේ අනතුර වැටහෙන වන විට ඔවුන් බොහෝ ප්‍රමාද වී තිබුනි.

විද්‍යාඥනයන් ගණන් බලා ඇති ආකාරයට පිපිරීමේදී ගිණිකන්දෙන් සෑම තත්පරයකදීම අලු සහ ගිණියම් වූ ලාවා පාෂාණ ටොන් 1.5 ක් පමණ සැතපුම් 20ක් පමණ ඉහල අහසට විහිදී ඇත. මේවා මගින් අවට කලාපයම දුමෙන් වැසුන අතර බොහෝ වෙලාවක් යනතුරු අළු වැසි ඇති විය. ගොඩනැගිලි කඩා වැටුන අතර විෂ වායු දුම ආදිය නිසා බොහෝ දෙනෙකු ස්වසනය අපහසුතා නිසා මිය ගියේය. නගරය අඩි 20ක් පමණ සම්පූරණයෙන් අළුවලින් වැසී ගොස් ජීවිත 2000ක් පමණ විනාශ වී තිබුනි.

පොම්පෙයි නගරයේ ඛේදවාචකය ගැන තොරතුරු මුලින්ම සඳහන් වන්නේ ප්ලිනී (කනිෂ්ඨ) ( Pliny the younger) නම් එම පිපිරීම වන අවස්ථාවේ දුරින් නගරයක සිට එය නිරීක්ශණය කල පුද්ගලයෙකු විසින් ලියා තබන ලද සටහන් වලට අනුවය. පසු කලෙක ඔහු සිදුවීම පිළිබඳ ලියා තබා ඇත. තම මාමා වූ ප්ලිනී (ජෙෂ්ඨ) නම් වූ නාවුක සෙන්පතියා සිය නාවුක බල ඇණිය මිනිසුන් බේරා ගැනීමට යොදා ගැනීමේදී මිය ගිය බවද සඳහන් කර ඇත.

මෙසේ වසර 1500 කට අධික කාලයක් අතහැර දැමුන පොම්පෙයි නගරය නැවත කැණීම් මගින් 1748 දී මතු කර ගැනීම ආරම්භ විය. වාතාස්‍රය සහ තෙතමනය නොමැති නිසා ඒවා තිබුන ආකාරයටම සුරක්ෂිතව සංරක්ෂණය වී තිබුනි. 

1997 දී පොම්පෙයි නගරය සහ අවට කලාපය ලෝක උරුමයක් ලෙස නම් කරන ලදි. වසරකට සංචාරකයන් මිලියන 2.6 ක් පමණ නගරය නැරඹීමට පැමිණෙති ගණන් බලා ඇත. 


Related Links:

6 comments:

  1. වටිනා ලිපියක්.......................... ලොකු දැනුමක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලිපිය කියෙවුවට

      Delete
  2. අහම්බෙන් එන්න ලැබුණේ හරිම වටිනවා ගොඩක් ස්තුතියි තව තව ලියන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි, නැවත එන්න

      Delete
  3. බොහොම ස්තූතියි!! ඉදිරියටත් මෙවන් ලිපි පළ කරන්න...ඔබට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි, නැවත එන්න

      Delete